නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස යෝගා වේ ජායතේ භූරි අයෝගා භූරිසංඛයෝ ඒතං ද්වේධාපථං ඤත්වා භවාය විභවාය ච තථාත්තානං නිවේසෙය්‍ය යථා භූරි පවඩ්ඪති -මග්ග වග්ග, ධ.ප. සැදැහැවත් පින්වතුනි, අප තිලෝගුරු ගුරු බුදුපියාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය - ඒ බුද්ධ දේශනාව - ඇත්ත වශයෙන්ම කියනවා නම්, සසර දුකින් මිදීමට උපකාරවන, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගැනීමට උපකාරවන, ප්‍රතිපත්ති මාර්ගයක්. එතකොට, බුද්ධ දේශනාව කොයිතරම් සවිස්තරව, අටුවා ටීකා සහිතව, හැදෑරුවත්, කටපාඩම් කරගත්තත්, සීල-සමාධි-ප්‍රඥා කියල කියන ඒ ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කරන්නේ නැත්නම්, ඒ බුද්ධ දේශනාවේ පරමාර්ථය ඉෂ්ට වෙන්නේ නෑ. නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන් කමක් නෑ. නිවන් ප්‍රත්‍යක්ෂ කරගැනීමට විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා භාවනාව. භාවනාවෙන් තොරව නිවනක් ලබාගන්නට බෑ, කිසිම කෙනෙකුට. මේ භාවනාවේ යෙදීම කියන අර්ථය කියන වචනයක් තමයි ‘යෝග’ කියල කියන්නේ. වෙන නොයෙකුත් ආගම්වල, වෙන වෙන අර්ථවල යෙදෙන්න පුළුවන් ‘යෝග’ කියන වචනය. නමුත් අපේ ධර්මයෙහි ‘යෝග’ කියල කියන්නේ භාවනා මනසිකාරයයි. භාවනානුකූල මෙනෙහි කිරීමයි. ‘අයෝග’ කියල කියන්නේ භාවනාවේ නොයෙදීමයි. එතකොට, ‘යෝග’ කියන්නේ භාවනාවේ යෙදීම, ‘අයෝග’ කියන්නේ භාවනාවේ නොයෙදීම. මෙන්න මේ දෙක අතර ඇති වෙනස පෙන්නුම් කිරීමට බුදුපියාණන් වහන්සේ වදාළ ගාථා ධර්මයත් තමයි අපි මාතෘකා හැටියට අද තබාගන්නේ. මේ ගාථාවට අදාළ නිදාන කථාව බොහොම ආදර්ශවත් කථාන්තරයක්. බුදුපියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන කාලයේ, එක මහතෙර නමක් හිටිය පෝඨිල කියන නමින්. මේ පෝඨිල හාමුදුරුවෝ ත්‍රිපිටකය පිළිබඳ විශාරද, එහෙම පිටින්ම ඒවා කටපාඩම් කරගෙන පන්සියයක් ගෝලයන්ට ධර්මය උගන්වන ආචාර්ය කෙනෙක්. මේ කාලයේ හැටියට බලනවා නම් මේ පින්වතුන් දන්නවානේ ඔය නොයෙකුත් විදියේ උපාධි කියනවානේ ත්‍රිපිටකාචාර්යි, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ආදි ලොකු සම්මාන වලින් පුදන්න තරම් වටින ස්වාමීන් වහන්සේ කෙනෙක්. නමුත් එහෙම වුනාට මොකද, මේ පෝඨිල හාමුදුරුවෝ උගත්කමින් පිරුනට මොකද, භාවනාව ගැන සිත් යොමු කරන්නේ නෑ. තමන්ගේ නිවන ගැන, තමන්ගේ සසරින් මිදීම ගැන, සිතන්නේ නෑ, කොයිතරම් ගෝලයන්ට ඉගැන්නුවත්. බුදුපියාණන් වහන්සේට මේ හාමුදුරුවෝ ගැන හිතල සංවේගයක් ඇතිවුනා. ‘අපොයි මේ තරම් දැන උගත්කම් ඇති කෙනෙක් උනත් තාම තමන්ගේ නිවන ගැන හිතුවේ නෑ නේද’ කියල. මේ හාමුදුරුවන්ට සංවේගයක් ඇති කරවන්නට බුදුපියාණන් වහන්සේ යෝදා ගත්තු උපාය මොකක්ද, තමන් වහන්සේ ළහට වඳනා කරන්න එතකොට මේ පෝඨිල හාමුදුරුවන්ට ආමන්ත්‍රණය කරන්නේ ‘තුච්ඡ පෝඨිල’ කියලා. ‘තුච්ඡ’ කියන වචනය සමාජයේ කොයි අන්දමට භාවිතා වුනත්, එකේ තේරුම ‘හිස්’ කියන එකයි. එතකොට ‘තුච්ඡ පෝඨිල මෙහෙ එන්න. තුච්ඡ පෝඨිල වඩින්න. තුච්ඡ පෝඨිල ඉඳගන්න. හා! හොඳයි, තුච්ඡ පෝඨිල යන්න. අන්න තුච්ඡ පෝඨිල ගියා’. ඔය විදියට බුදුපියාණන් වහන්සේ මේ පෝඨිල හාමුදුරුවන් එන එන වෙලාවට ඔහොම වචන පාවිච්චි කරනවා. ‘තුච්ඡ’ කියන වචනේ. මේ හාමුදුරුවන්ට ලොකු සංවේගයක් ඇතිවුනා. ‘අනේ අපොයි මේ බුදුපියාණන් වහන්සේ - මේ මගේ ශාස්තෘන් වහන්සේ - මේ තරම් දැන උගත්කම් ඇති, මේ තරම් විශාල ගෝල පිරිසකට උගන්වන මට මේ ’තුච්ඡ’ කියන වචනය යොදනවා නේද? කියල. ඉතින් මේ විදියේ මේ ‘අවනම්බුනාමයක්’ බුදුපියාණන් වහන්සේ මහා කරුණාවෙන් දී වදාළේ මොකටද? අර හාමුදුරුවන්ට මේ සසරින් මිදීම පිළිබඳව සංවේගය ඇතිකිරීමටත්, ඒ වගේම අර උගත්කම නිසා ඇතිවෙච්ච, ගෝල පිරිස නිසා ඇතිවෙච්ච මාන්නය බිඳීමටත්. මේ ශාසනයේ ගුණධම් පුරන කෙනෙකුට, භාවනා ආදී ඒ කටයුතු කරන කොට, ගුරුවරයකුගේ ඇසුරින් නොයෙකුත් උපදෙස් ගන්න සිද්ද වෙනවා. ඉතින් ඒ විදියේ උපදෙස් ගන්නා නම්, නිහතමානිත්වය තියෙන්ට ඕන. මේ හාමුදුරුවෝ හිතාගෙන ඉන්න ඇති, දැන් ඉතින් මං ඔක්කොම දන්නවා කියලා. පිරිච්ච කලේකට ආයි පුරවන්නට බෑ. එක හිස්කරලා ඕන පුරවන්ට. අන්න ඒ හිස්කිරීමේ අදහසිනුත්, මාන්නය බිඳීමේ අදහසිනුත්, තමයි බුදුපියාණන් වහන්සේ මේ හාමුදුරුවන්ට ‘තුච්ඡ’ කියල ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තේ. ඉතින් මේ හාමුදුරුවෝ ඒකෙන් තරහ ගත්තේ නෑ. ‘මට අගෞරව කරනවා’ කියල බුදුපියාණන් වහන්සේ එක්ක ද්වේෂයක් වෛරයක් ඇතිකරගත්තේ නෑ. තමන්ගේ තත්ත්වය තේරුම් අරගෙන ඊළඟට තීරණය කළා, ‘දැන් ඉතින් මේ ඔක්කොම ගෝල පිරිස අත හැරල මම යන්න ඕන. ගිහිල්ල - කොහේ හරි ආරණ්‍යයකට ගිහිල්ල, දුර බැහැර කැළේකට ගිහිල්ල භාවනා කරන්න ඕන’ කියල. එහෙම අධිෂ්ඨාන කරගෙන, පස්සෙන්ද උදෑසන තමන්ගේ ගෝල පිරිසට අවසාන වශයෙන් උගන්වලා, ඒ ගෝලයින්ගෙන් අවසාන ගෝලය නික්මෙනවත් එක්කම, කාටවත් නොපෙනෙන නොතේරෙන ආකාරයෙන් - වෙස්වළාගෙන වගේ - වෙස් වළාගෙනම නොවෙයි කාටවත් නොපෙනෙන ආකාරයට, හරියට එළිය වැටෙන්නත් කලින්ම වගේ පිටවුනා. පිටවෙලා, යොදුන් සියගණන් ඈතට ගිහිල්ල යම්කිසි ආරණ්‍යයකට වැඩම කළා. ඒ ආරණ්‍යයේ සිටිනවා තිස් නමක්. තිස් නමක් රහතන්වහන්සේලා සිටින ආරණ්‍යයක්. මේ ස්වාමීන්වහන්සේ එතන නායක ස්වාමීන්වහන්සේ ළහට ගිහිල්ල ඉල්ලා සිටියා ‘අනේ ස්වාමීන්වහන්ස. මට පිහිට වෙන්න’ කියල. ඒ කියන්නේ, නිවනට පිහිට වෙන්න කියන එකයි. මේ ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලාම කිව්වා, ‘අපොයි ඔබවහන්සේ මේ තරම් දැන උගත්කම් ඇති කෙනෙක් නේද? අපටත් යමක් ඉගෙන ගන්න තියෙන්නෙ ඔබ වහන්සේ වැනි අයගෙන් නේද’ කියලා, ‘අපොයි, එහෙම කියන්න එපා ස්වාමීනි, මම මේ ආවේ පිහිටක් බලාපොරොත්තුවෙනුයි, මට නිවනට කමටහන් දෙන්න’. නිවන් දැකීමට උපකාර වන භාවනා කර්මස්ථාන දෙන්න’ කියලා. අර මානය බිඳින්න දෙවැනි ස්වාමීන් වහන්සේ ළහට ඇරියා. ඒ ස්වාමීන්වහන්සේ, ඊළහ ස්වාමීන්වහන්සේ ළහට යැව්වා. ඔහොම ඔහොම ගිහිල්ල අර මුළු සඟපිරිසෙම කෙළවර සිටින අළුතෙන් පැවිදිවෙච්ච හත් හැවිරිදි සාමණේරයන් වහන්සේ කෙනෙක් ළහට යැව්වා. ඒ සාමණේරයන් වහන්සේත් සුළුපටු කෙනෙක් නොවෙයි. රහත් කෙනෙක්. ඉතින් අර පෝඨිල ස්වාමීන්වහන්සේ වඩින අවස්ථාවේ මේ කුඩා සාමණේර නමුත් මහරහතන් වහන්සේ සිවුරක් මහමින් සිටිනවා, විවේක ස්ථානයක. පෝඨිල හාමුදුරුවෝ මේ සාමණේරයන් වහන්සේ ළහට ඇවිත් වැඳගෙන ඉල්ලා සිටියා, ‘සත්පුරුෂයාණන් වහන්ස, මට පිහිට වෙන්න, මට උපකාර කරන්න’ කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේත්, ‘අපොයි, ඔබවහන්සේ බොහොම මහළු දැන උගත්, බහුශ්‍රැත ස්වාමීන්වහන්සේ කෙනෙක් නේ. අපිත් ඔබවහන්සේලාගෙන් යමක් ඉගෙන ගන්න ඕන එකේ ඇයි මෙහෙම කියන්නේ? කියලා. ’නෑ, නෑ, එහෙම කියන්න එපා. මා ආවේ නිවන් දැකීමේ බලාපොරොත්තුවෙනුයි. මට පිහිට වෙන්න. මම ඕන නම්, කියනවා නම්, ගින්නට වුනත් පනින්න සුදානම්’ කියලා තමන්ගේ කීකරු කමත් ප්‍රකාශ කළා. මේ පොඩි ස්වාමීන්වහන්සේ එතකොට මාන්නය නැතිකිරීමටත් කීකරුබව මැනීමටත් ඒ ළහ තිබුන විලක් පෙන්නලා කියනවා ‘එහෙම නම් ස්වාමීන්වහන්ස අන්ත අර විලට බහින්න’. හොඳ වටින සිවුරු එහෙම පොරවාගෙන හිටපු පෝඨිල හාමුදුරුවෝ ඒ සිවුරු පිටින්ම අර විලට බැස්සා. බහිනවත් එක්කම, යන්තම් සිවුරු කොන තෙමෙනවත් එක්කම, ආයෙත් අර කුඩා රහත් සාමණේරයන් වහන්සේ ‘වඩින්න, ස්වාමීනි’ කියලා කතා කරලා ඔන්න ඊළහට ඉතින් පාඩම් දෙනවා. ටිකක් හිතන්න පුළුවන් මේ පින්වතුන්ටත්, කොයි විදියට ඇද්ද කියලා. හත් අවුරුදු සාමණේරයන්වහන්සේ කෙනෙක් - හුරුබුහුටී සාමණේරයන් වහන්සේ කෙනෙක් කොහොමද - හැබැයි රහත් කෙනෙක්. අර හාමුදුරුවෝ මහ උගත්, හිස පැහුණු, බොහොම බරපතල විදියේ පෙනුමක් ඇති හාමුදුරුවෝ. නමුත් ඒ හාමුදුරුවෝ උක්කුටිකයෙන් ඉඳගෙන දැන් මේ පාඩම ඉගෙන ගන්නවා. නිවන් දකින්න. මෙච්චර කාලයක් ඉගෙනගන්න බැරිවුන පාඩමක් මේ හත් හැවිරිදි සාමණේරයන් වහන්සේගෙන් ඉගෙන ගන්න සුදානම. මේ රහත් සාමණේරයන් වහන්සේ දෙන පාඩම මොකක්ද? ඕනම කෙනෙකුට හිතට ගැඹුරින් ගන්නත් පුළුවන්, සරලව ගන්නත් පුළුවන්, විදියේ උපමාවක් දෙනවා. ‘එහෙනම් ස්වාමීනි ඔන්න අපි හිතමු, හුඹහක් තියෙනවා, ඒ හුඹහෙ සිදුරු හයක් තියෙනවා. ඔය සිදුරු හයෙන් එක සිදුරකින් තලගොයෙක් ඇතුල්වුනා. මේ තලගොයා අල්ලගන්න ඕන නම් මොකක්ද කරන්න ඕන? අර සිදුරු පහක් වහලා ඒ තලගොයා ඇතුල්වුනු සිදුර ළහම රැක සිටින්න ඕන. රැක සිටින කොට එතැනින් පුළුවන් ඒ තලගොයා අල්ල ගන්න. අන්න ඒ වගේ, ස්වාමීනි, මේ ඉන්ද්‍රිය හයක් අපට තියෙනවා - හුඹහ වගේ අපේ මේ ශරීරයේ. මේ ඉන්ද්‍රිය දොරටු හයෙන් නොයෙකුත් අරමුණු, ඇතුල්වෙනවා. ඒ ඇතුල්වෙච්ච අරමුණු ’අල්ලගන්න’ ඕන නම් - මෙතන ‘අල්ලගන්න’ ඕනෙයි කියල කියන්නේ, ගැඹුරු අර්ථයෙන් අවබෝධ කරගන්න. ‘අල්ලගන්නවා’ කියන එක. මේ කාලෙක් පාවිච්චි වෙනවානේ - ‘මට ඒ කියන දේ අල්ලගන්න බැරිවුනා’ කියල එහෙම කියන්නේ. අන්න ඒ විදියේ අල්ලගැනීමක් මෙතන කියන්නේ. තලගොයා අල්ලගන්නවා කියල කියන්නේ අර අරමුණ - නොයෙකුත් අරමුණු, අපි යම් යම් දේවල් ගැන හිතන කොට ඒවට කියන්නේ ‘අරමුණ’ කියල. අරමුණේ නියම ස්වභාවය හරියාකාර අවබෝධ කරගැනීමයි අරමුණ අල්ලා ගැනීමයි කියල කියන්නේ. තලගොයා අල්ලගන්න අර සිදුරු පහ වහන්න වගේ, මේ ඉන්ද්‍රිය හය අතුරින් බාහිර ඉන්ද්‍රිය හැටියට සලකන ඇස, කණ, නාසය, දිව, කය කියල කියන මෙන්න මේ ඉන්ද්‍රිය දොරටු පහ වහල, ‘මන’ කියල කියන - ‘සිත’ කියල කියන මෙන්න මේ දොරටුවේ රැක්මේ යෙදෙන්ට ඕන. ඒකයි අදහස. එච්චර විස්තර කරන්ට අවශ්‍ය වුනේ නෑ. අර කුඩා ස්වාමීන්වහන්සේ මේ උපමාව කියනවාත් එක්කම, අර පෝඨිල ස්වාමීන්වහන්සේගේ පින මතුවෙලා, ඒක ගැඹුරින් අවබෝධවුනා. ඊළහට ඒ අවබෝධ වෙනවාත් එක්කම, බුදුපියාණන් වහන්සේ යොදුන් සිය ගණනක් ඈත ඉඳලා මේ සිද්ධිය බලාගෙන ඉඳලා, තමන්වහන්සේගේ බුද්ධ ඤාණයෙන් ඒ අවසානේ පෝඨිල ස්වාමීන්වහන්සේ තවත් උත්සාහවත් කිරීමට - අර කමටහනේ යෙදීමට උත්සාහවත් කිරීමට - අපි කලින් මාතෘකා කළ ගාථා ධර්මය වදාළා. යෝගා වේ ජායතේ භූරි අයෝගා භූරිසංඛයෝ ඒතං ද්වේධාපථං ඤත්වා භවාය විභවාය ච තථාත්තානං නිවේසෙය්‍ය යථා භූරි පවඩ්ඪති ‘යෝගා වේ ජායතේ භූරි’ - යෝගය කියල කියන්නේ භාවනාවේ යෙදීමයි. භාවනා මනසිකාරයයි. ඒ භාවනා මනසිකාරයෙන් පොළොව තරම් මහා ප්‍රඥාවක් කෙනෙකුට ලබාගන්න පුළුවන්. ලොකු ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන්. ‘අයෝගා භූරි සංඛයෝ’ - නමුත් ඒ විදියේ භාවනා මනසිකාරයක් නැත්තම්, යෙදීමක් නැත්තම්, එතැනදී වෙන්නේ ප්‍රඥාවේ පරිහානියයි. ප්‍රඥාව විනාශවෙලා යනවා. නුවණ නැතිවෙලා යනවා. ‘ඒතං ද්වේධාපථං ඤත්වා - භවාය විභවාය ච’ මෙන්න මේ මාර්ග දෙක - මේ මං සන්ධිය - තේරුම් අරගෙන, මේ දෙපැත්කට විහිදුනු පාරවල් දෙක හරියට තේරුම් අරගෙන, ‘තථාත්තානං නිවේසෙය්‍ය - යථා භූරි පවඩ්ඪති’ - ‘යම් ආකාරයකින් ප්‍රඥාව වැඩෙනවා නම්, අන්න ඒ ආකාරයට පිළිපදින්න, ඒ මාර්ගයේ ගමන් කරන්න, ඒ මාර්ගයට හැරෙන්න’, කියන එකයි බුදුපියාණන් වහන්සේ මේ ගාථාවෙන් පෝඨිල ස්වාමීන්වහන්සේට අනුශාසනා කළේ. ඒ වගේම, ඒ අනුශාසනාවටත් අනුව එයිනුත් ධෛර්යවත් වෙලා, අර පෝඨිල ස්වාමීන්වහන්සේ ඉතාම ශීඝ්‍රයෙන් භාවනා මනසිකාරය යොදලා රහත්වුනු බව සඳහන් වෙනවා. එතනින් අපට හිතාගන්න පුළුවන්, අර ගාථාව තුළ තිබෙනවා රහත්වීමට තරම් උපකාරවන ගැඹුරක්. මොකද ඒ? තමන් ප්‍රත්‍යක්ෂ කරගත්තු ධර්මයත් අර සාමණේරයන් වහන්සේ ඒ පොඩි උපමාවෙන්-තලගොයාගෙයි හුඹහෙයි උපමාවෙන්-කමටහනක් හැටියට ඉදිරිපත් කළ නිසා. දැන් එතකොට අපට මේ කථාන්තරයෙනුත් හුඟක් ආදර්ශ ගන්න පුළුවනි. අපි ඉස්සෙල්ල ඒක ගැන ටිකක් බලමු. පළමුවෙන්ම, මේ කථාන්තරයෙන් අපට පෙනෙනවා දැනුමත් ප්‍රඥාවත් අතර වෙනස, දැන් මේ කාලේ බොහෝ දෙනා කවලම් කරගන්න දෙයක් මේක. දැනුම කියන එක ඉහවහා යන යුගයක් මේ කාලය. විද්‍යාවෙයි කියාගෙන තව නොයෙකුත් ශිල්ප ශාස්ත්‍ර - පුස්තකාලයක් බැලුවාම පිරිලා පොතපත. ඒ විදියේ දැනුම් සම්භාරයක් ඉහවහා යන තරමට තියෙනවා ලෝකේ. නමුත් ප්‍රඥාව කියල කියන්නේ ඒක නොවෙයි. ප්‍රඥාව කියල කියන්නේ සියුම් වැටහීම. ඒක බොහෝදෙනාට අඩුයි. විශේෂයෙන්ම මෙතන ප්‍රඥාව කියල කියන්නේ නිවන් දැකීමට උපකාරවන ගැඹුරු වැටහීම - චතුරාර්ය සත්‍යය පිළිබඳ ගැඹුරු වැටහීම. ඒක බොහෝදෙනාට නෑ. ප්‍රඥාව සඳහා වෙහෙසෙන්නෙත් නෑ. ඒ වෙනුවට දැනුම් සම්භාරයක් කරගහගෙන, ඒකෙ බරින් මිරිකිල ජීවිතය ගෙවල, අන්තිමට මිය ගිහිල්ල, සමහරවිට නරක, තිරිසන්, ප්‍රේත ආදී ලෝකවල උපදිනවා. මොකද? අර දැනුම් සම්භාරයෙන් කෙනෙකුට සසරින් මිදෙන්න බෑ. ප්‍රඥාව සඳහා, ශීල-සමාධි-ප්‍රඥා කියන ඒ මාර්ගයේ ගමන් කරල, ඒකේ ශික්ෂණයක් ලබන්නට ඕන. එහෙම නැත්නම් තවත් විදියකින් කියනවා නම් - යම්කිසි භාවනා කර්මස්ථානයකින් සිත එකඟ කරගෙන, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය වඩල, මාර්ග ඵල අවබෝධ කිරීමටයි මේ ප්‍රඥාව කියල කියන්නේ. මෙන්න මේ දෙකේ වෙනස හොඳට පෙන්නුම් කරනවා එතකොට අර මහතෙරුන්වහන්සේ හැටියට සිටිය පෝඨිල ස්වාමීන්වහන්සේ, නොයෙකුත් උපාධි වශයෙන් තත්ත්ව ලබාගන්ට තරම් සුදුසුකම් තිබුණත්, බුද්ධ දේශනාවේ නියම පරමාර්ථය වන නිවන ප්‍රත්‍යක්ෂ කරගත්තේ නෑ. යටත් පිරිසෙයින් සෝවාන් වෙලාවත් නෑ. නමුත් අර සත්හැවිරිදි සාමණේරයන්වහන්සේ, ඒ ළහදී පැවිදිවුන නවක හාමුදුරුවෝ - ‘පොඩි හාමුදුරුවෝ’ කියල අපි කියන්නේ - නමුත් පොඩි කෙනෙක් නෙවෙයි මහරහතන්වහන්සේ කෙනෙක්. ඔන්න ඔය විදියේ විශාල පරතරයක් තියෙනවා දැනුමත් ප්‍රඥාවත් අතර. ඊළහට, ඒ වගේම, අර බුදුපියාණන්වහන්සේ කළ නිග්‍රහයක් වගේ පෙනෙන ‘තුච්ඡ’ කියන වචනය ගැන හිතන කොට අපට තේරුම් ගන්න පුළුවන්, මේ භාවනා කර්මස්ථානයක් පරිහරණය කරන්න, ඒකට අනුව හික්මෙන්න, ඕන කරන මූලික දේ තමයි නිහතමානිත්වය. දැන් අර පෝඨිල ස්වාමීන්වහන්සේ, මුලදී ඒ විදියේ අඩු පාඩුකම් තිබුණත් කොයිතරම් නිහතමානීවද අර අවස්ථාවේ සාමණේරයන් වහන්සේගෙන් පිහිට ඉල්ලා සිටියේ. ඒක කාටත් ආදර්ශවත්. විනයක් අදින්න තරම් වටින අවස්ථාවක්. ඉතින් ඒ විදියට නිහතමානී ගුණයක් පෙන්නුම් කරනවා. ඒක ආදර්ශයක් ලෝකයාට. මහ දැන උගත්කම් තිබුණත් ලෝකෝත්තර ප්‍රත්‍යක්ෂය ඇති තැනැත්තා ළහ ඒ විදියට යටහත් පහත්ව, ගෞරව පූර්වකව උපදෙස් ලබාගත්තා. හොඳ ආදර්ශයක් පෝඨිල ස්වාමීන්වහන්සේ දුන්නා. අනික් අතට බලනකොට, අර දුන්න උපමාව, ඒ වගේම අර සාමණේරයන්වහන්සේගේ තේජස පෙන්නුම් කරන විදියේ ශික්ෂණය. පෝඨිල ස්වාමීන්වහන්සේට කිව්වා විලට බහින්න කියල. ඒ තේජසට කීකරු වුනා. ඊළහට කුඩා ස්වාමීන්වහන්සේ දුන්න උපමාව, හුඹහට ඇතුල්වුන තලගොයෙකු පිළිබඳ උපමාව. මේ හුඹහ කියන එක ගැඹුරු අදහසක්. ධර්මයේම පෙන්නුම් කරල තියෙනවා මේ හුඹහෙ උපමාව. මවුපියන් නිසා ඇතිවෙලා ආහාරපානවලින් පෝෂණය වන, පඨවි, අපෝ, තේජෝ, වායෝ කියන මේ ධාතු හතරෙන් නිර්මාණය වූ - පොළොව, දිය, ගින්න, හුළඟ කියන මේ ධාතු හතරෙන් ඇතිවුනු - මේ ශරීර කුඩුව උපමා කරල තියෙනවා හුඹහකට. මේ ශරීර කුඩුවේ කියන සිදුරු හයක් තමයි ඔය කිව්වේ. බාහිර සිදුරු පහ වගේ තමයි ඒ බාහිර ඉන්ද්‍රියන් - ඇස, කණ, නාසය, දිව, කය කියන ඒව. මේවාට ‘සිදුරු’ කියල කියන්නේ මොකද - ‘දොරටු’. මේ දොරටුවලින් යම් යම් අරමුණු අපි ගන්නවා. ඇහැට රූප පෙනෙනවා. කණට සද්ද ඇහෙනවා. නාහයට ඝ්‍රාණ සුවඳ දැනෙනවා. දිවට රස දැනෙනවා. කයට ස්පර්ශ දැනෙනවා. ඒවගේම සිතට සිතිවිලි එනවා. ඉතින් මේ විදියට අරමුණ ගලාගෙන එනවා මේ දොරටු හයෙන්, නමුත් මෙතනත් විශේෂත්වයක් තියෙනවා. අර බාහිර ඉන්ද්‍රිය පහ කියල කියන ඇස, කණ, නාසය, දිව, කය කියන ඒවායින් ගන්නා අරමුණු - ඒ ගලාගෙන එන අරමුණු - භුක්ති විඳින්නේ, ඒවා අනුභව කරන්නේ, සිතයි. මේක හරියට චිත්‍රයක් වගේ සලකනවා නම්, අර බාහිර ඉන්ද්‍රිය පහ වටේට තියෙනවා. මැදින් සිත තියෙනවා. අර පහෙන් ඒත ඔක්කොම පණිවිඩ - සංඥා පණිවිඩ - සිතේ තැන්පත් කෙරෙනවා. දැන් අර හුඹහ ගැන හිතුවත් අපට හිතාගන්න පුළුවන්, හුඹහෙ උඩින්ම තියෙන හිල වගෙයි මේ මනස. ඒකයි ප්‍රධාන. වට්ටේට තිබෙන සිදුරු පහ වගෙයි අර බාහිර ඉන්ද්‍රිය පහ. ඔය විදියටත් අපට හිතාගන්න පුළුවන් ටිකකට. අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඇසින් අරමුණ ගත්තා කියලා. කණින් අරමුණ ගත්තා කියලා. නමුත් මේ කොහෙන් ගත්තක් මේවා ගිහිල්ල තැන්පත් වෙන්නේ සිතේ. සිත ප්‍රධානයි. බුද්ධ දේශනාවේ විශේෂම, ශ්‍රේෂ්ඨම, කියමනක් තමයි ඒක. සමහරවිට නවීන විද්‍යාවේ ඒක එතරම් සැලකිල්ලට ගත්තේ නැතත් බුද්ධ දේශනාවේ මනසට ප්‍රධාන තැන දීලා තිබෙනවා. ‘මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා’ කියන පද දෙකෙන් ධම්ම පදයේ මුල් ගාථා දෙකක් ආරම්භ වෙන්නේ. ඒ බුද්ධ දේශනාවේ මූලික සිද්ධාන්තයක් වගෙයි. ‘මනෝ පුබ්බංගමා ධම්මා’ - ධම්මා කියල කියන්නේ එතන, සිතට අරමුණු වන දේවල්. අපිට ‘දේවල්’ කියල කියන්න පුළුවන්. අපි දේවල් කියල සලකන හැම දෙයකටම මනස පෙරටු වෙනවා. සිත තමයි මේවාට ප්‍රධාන වෙන්නේ. ‘මනෝ සෙට්ඨා’ - මනස ශ්‍රේෂ්ඨයි. ‘මනෝමයා’ - සිතින්මයි, ඇත්ත වශයෙන් කල්පනා කරලා බලනකොට, සිතින්මයි මේවා සකස් වෙලා තියෙන්නේ. ‘රූපයක්’ ‘ශබ්දයක්’ ආදී වශයෙන් ගන්නා දේවල්වල මේ සිත හා සම්බන්ධ කොටසයි බුදුපියාණන්වහන්සේ වැඩියෙන් මතුකරල දක්වන්නේ. මේවා හිතින්ම වගේ සකස්වෙලා තියෙන්නෙ. ඒක නිසා මනසින්මයි මේ ප්‍රශ්නය විසඳගන්න ඕන. මේ මනසින්ම ප්‍රශ්නය විසඳගන්නවා කියල කියන්නේ මොකක්ද? මේ එන අරමුණු මෙනෙහි කිරීමෙන්. මේ අරමුණු මෙනෙහි කිරීම තුළින් ඒවායේ නියම ස්වභාවය - ධර්මානුකුලව නියම ස්වභාවය - වටහා ගැනීමයි. සාමාන්‍ය ලෝකයා කරන්නේ මොකක්ද? ඇහැට එන රූපය වඩාත් හොඳින් බලන්න ඒ ඔස්සේ දුවනවා. කණට එන ශබ්දය ඔස්සේ දුවනවා. මේවා සංඥාවල්. ‘සංඥා’ කියන එක බුදුපියාණන් වහන්සේ උපමා කරල තියෙනවා මිරිඟුවකට. මේ මිරිඟුව කියල කියන්නේ මොකක්ද? පායන කාලේ මුවා දේශගුණික, කාලගුණික හේතුන් නිසා පොළොවේ උඩීන් පොපියන නලියන ස්වභාවයක් දැකලා වතුරෙයි කියල රැවටිලා ඒක ඔස්සේ දුවනවා. දුවන්න දුවන්න ඒක ඈත් වෙනවා. ඒක නිසා ඒකට මිරිඟුව කියල කියනවා. ‘මෘගතෘෂ්ණිකා’ කියල කියනවා. පිපාසය ඇති මුවා ඒක ඔස්සේ දුවනවා. ඉතින් බුදුපියාණන්වහන්සේ සංඥාවල් උපමා කරල කියන්නේ ඔන්න ඔය මිරිඟුවට. එහෙම ගත්තොත්, අපට දැන් ඇහැට පෙනෙන රූපයක් හරියට දකින්න කියල අපි වෙහෙසෙන ප්‍රමාණය කොයි තරම්ද කියතොත් අන්තිමට අණු දක්නත් මදි, දුර දක්නත් මදි. ඒ තරමට මේවා විග්‍රහ කරගෙන, විග්‍රහකරගෙන යනවා. නමුත් එයින් ධර්මයට ළං වෙන්නේ නෑ. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ යථා තත්ත්වය දැකීමට ළං වෙන්නේ නෑ එයින්. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්ත එක ඒකාන්තයෙන්ම උපකාර වන්නේ නෑ. ඒ වගේම තමයි ශබ්දය ආදියත්. මේවා ඔස්සේ බොහෝ දුරට දුවනවා. මේ දිවීමේ ආදීනවය මොකක්ද? දුවන්නේ මක්නිසාද? මේවා පිළිබඳ ආශාවන් නිසා. ආශාව, වැඩෙන දෙයක්. තෘෂ්ණාව, ආශාව, ලෝභකම ආදී නොයෙකුත් නම්වලින් හඳුන්වන ඒ කෙලෙස වැඩීමට හේතුවන දෙයක් මේ සංඥා ඔස්සේ දිවීම. ඒ වෙනුවට කරන්න කියන්නේ - විශේෂයෙන්ම විදර්ශනා භාවනාවේදී - මේ හැම දෙයක්ම කෙටියෙන් මෙනෙහි කිරීමයි. ඒ යෝගියා, යෝගාවචරයා, යන්නේ නිවත්මග, නිවන් ගමනක්. දැන් අපි උනත් යම් කිසි දුර ගමනක් යනවා නම්, ඒ ගමන ඉලක්කය කරගෙන යනව නම්, ඒ අතරතුරේදී තමන් යන වාහනේ හැම තැනම නවත්ත, නවත්ත මෙන්න හොඳ දර්ශනයක් තියෙනවා, හොඳ සින්දුවක් තියෙනවා කියල ඒවා දැකල අහල එහෙම යන්න හිටියොත්, ගමන යන්න බැරි වෙනවා. ඒක ප්‍රමාදයට හේතුවක්. ඒක නිසා අප්‍රමාදීව නිවන බලාපොරොත්තුවන තැනැත්තා, ඒ යෝග කර්මයේ, භාවනාවේ, භාවනා මානසිකාරයේ, යෙදෙන කොට, දකින රූපයක් පිළිබඳව එළවලා යන්නේ නෑ. ඒක ඔස්සේ දුවන්නේ නෑ. ඒ වෙනුවට කරන්නේ, සිතට දෙනවා ‘රූපයක්’ ‘රූපයක්’, ‘මේක රූපයක් පමණයි’ කියල දෙවරක් ඒ විදියට මෙනෙහි කරනවා. ඒකයි අර මෙනෙහි කිරීම කියල කියන්නේ. භාවනා මනසිකාරය. ‘රූපයක්, රූපයක්’, ඊළහට ශබ්දයක් පිළිබඳවත් - සිංදුවක් නම්, මේක කවුරු කියාපු සින්දුවක්ද, කොහොම සින්දුවක්ද කියල විග්‍රහ කරන්නේ නැතුව, භාවනාවට ඉඳගත්තු තැනැත්තා. ‘ශබ්දයක්. ශබ්දයක්’ කියල ඒක එතනින්ම කෙළවර කරනවා. ‘ශබ්දයක්, ශබ්දයක්’. ඒ විදියටම ගඳ සුවඳ පිළිබඳවත්. ඒකත් යම්කිසි දැනීමක් - ගඳක් හෝ සුවඳක්. ඒක කෙටියෙන් මෙනෙහි කරල එතනින් කෙළවර කරනවා, ඔන්න ඔය විදියට. එහෙම නැත්තම්, සිතිවිල්ලක් ආවත් ඒ සිතිවිල්ල වැවෙන්න නොදී, වැඩෙන්න නොදී, සිතිවිල්ලක් හැටියට මෙනෙහි කරනවා. සිතිවිල්ලක් පමණයි මෙතන කියන්නේ. ඒමගින් තමයි අර මිරිඟුව පස්සේ දිවීම වෙනුවට සිත නතර කරගන්න පුළුවන් වෙන්නේ. මේ දුවන සිත නතර කරගැනීම තමයි මෙතනින් කෙරෙන විශේෂ අභ්‍යාසය. මේ සංසාරයේ දීර්ඝ කාලයක් අපි කළේ මොකක්ද? අර මුවා මිරිඟුව ඔස්සේ දුවන්නා වාගේ මේ අපේ ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන සංඥා ඔස්සේ දිව්වා. කවදාවත් තෘප්තියක් නෑ. මුවා පිපාසය සන්සිඳුවා ගන්නයි දුවන්නේ, නමුත් පිපාසය වැඩිවෙනවා මිසක් ඒක කෙළවර කරගන්න වතුර හොයාගන්න බෑ. මොකද, මෙතන වතුරක් නැති නිසා. ඒ වගේම, අපි සාමාන්‍යයෙන් මේ අපේ ආශාවන් සන්සිඳුවා ගැනීමට හිතෙන් මවාගත්තු ‘දෙයක්’ ඔස්සේ දුවනවා. ‘දේවල්’ කියලා හිතාගන්න දේවල්, ඒ ‘දේවල්’ කියල කියන්නේ ඔන්න ඔය අරමුණු. නමුත් ඒවා එකක්වත් අපට අහුවෙන්නේ නෑ. ඒවායේ යථා ස්වභාවය අල්ලගන්න බෑ. ඇහෙන් බලලා, කණින් අහල, මේවායින් සැහීමකට පත්වන්න බෑ. ඒ වෙනුවට බුදුපියාණන් වහන්සේ කියන්නේ අර දොරටු පහ වහලා, සිතට එන දේවල් අර කියාපු විදියට මෙනෙහි කරන්න. ඒ එන සිතිවිල්ල පවා සිතිවිල්ලක් හැටියට මෙනෙහි කරනවා - ඒ සිතිවිල්ලට යටවෙන්නේ නැතුව, ඒක වැඩෙන්න ඉඩ නොදී. ‘සිතිවිල්ලක්’, ‘සිතිවිල්ලක්’ කියල එක හඳුනාගෙන එතනින්ම කෙළවර කරනවා. ඔන්න ඔය විදියට අර ‘ලත් තැන ලොප් කරනවා’ වගේ ඒ විදර්ශනා මනසිකාරයයි මෙතන මේ කියන්නේ, ‘තලගොයා අල්ලාගන්නවා’ කියලා, මේ අරමුණේ යථා ස්වභාවය වටහා ගැනීමයි. මේ ‘තලගොයා’ - ‘තලගොයා’ කියල කියන මේ අරමුණු - දීර්ඝ කාලයක් තිස්සේ දීර්ඝ සංසාරයේදී සිතේ තැන්පත් වෙලා ඉන්නවා ඉතා සියුම් ආකාරයට. අතීත සංසාරයේ අපි මේ සිතට එන සංඥාවන් නිසා ඇතිකරගත්තු අරමුණු සිත තුළ නිදාගෙන වගේ ඉන්නවා. ඒවා අවදිවෙලා පැනල යන්න බලනවා අර බාහිර ඉන්ද්‍රිය පහෙන්. ඇහැට එන රූපය පිළිබඳ අතීතයේ ඇති කරගත්තු යම්කිසි සංඥාවක් මතුවෙලා - සිත තුළින් මතුවෙලා - ඒකට බාහිර රූපයත් අල්ලගෙන, ‘අන්න ලස්සන රූපයක්’ කියල ඒක ඔස්සේ දුවනවා. ‘අන්න හොඳ සිංදුවක්’, ‘හොඳ මිහිරි නාදයක්’ කියල ඒක ඔස්සේ දුවනවා. සිතිනුත් මේව මතුවෙනවා. මතුවෙලා අර බාහිර ඉන්ද්‍රිය පහ ඔස්සේ දුවන්න පටන්ගත්තට පස්සේ ආයි නවත්ත ගන්න බෑ. ඒ වෙනුවට කරන්නේ මොකක්ද? අර දොරටු පහ වහල, භාවනායෝගිය, ඒවට ඉඩ නොදී, ඒව කෙටියෙන් සළකලා, ලත් තැන ලොප් කරල, සිත පිළිබඳව සෙවිල්ලෙන් සිටිනවා. මෙන්න මේ සෙවිල්ලෙන් සිටීමට උපකාර කරගන්නේ මොකක්ද? ඒකට තමයි සති සම්පජඤ්ඤය කියල කියන්නේ. සතිය කියල කියන්නේ සිහියයි. සම්පජඤ්ඤයට ‘මනා නුවණ’, කියල කියන්න පුළුවන් ‘දැනුවත් බව’. යමක් පිළිබඳව තේරුම් ගැනීමේ ශක්තිය, ඒ කියන්නේ අවබෝධ ශක්තියක්. එතකොට අපිට කියන්න පුළුවන් සිහියයි, නුවණයි කියල. සිහි නුවණින් යුක්තව යමක් පිළිබඳව තමාම - අනුන් දැනුවත් කිරීම නොවෙයි - තමාම දැනුවත් වෙනවා. ‘මේකෙ ස්වභාවය මෙහෙමයි’ රූපයක් නම් ඒකත් මිරිඟුවක්. ඒකත් සංඥාවක්. ඒක නිසා ඒක ඔස්සේ දුවන්නේ නැතුව ඒක රූපයක් පමණයි, ඒක ශබ්දයක් පමණයි, කියලා එතනින්ම නතරවෙනවා. ඔය විදියට මෙනෙහි කිරීම තුළින් තමයි ක්‍රමක්‍රමයෙන් සංඥාවෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ කෙනෙකුට. සංඥාවෙන් මිදිලා තමයි ප්‍රඥාව මතුකරගන්න පුළුවන් වෙන්නේ. අර ගැඹුරු වැටහීම. ඒ ගැඹුරු වැටහීම කියල කියන්නේ මොකක්ද? බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට, මේ ලෝකේ හැම දේකම අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. මේ අනිත්‍යතාව කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරගන්ට ඕන. මේ මෙනෙහි කිරීම තුළින් කෙනෙකුට ඒක ප්‍රත්‍යක්ෂ කරගැනීමේ ශක්තිය ඇති වෙනවා. අනිත්‍යතාව කියන එක අපි තව ටිකක් සවිස්තරව හිතුවොත්, හැම දේකම තිබෙනවා ඇතිවීමක් සහ නැතිවීමක්. ඇතිවීම-නැතිවීම දෙක තමයි මේ අනිත්‍යතාව කියලා කියන්නේ. රූපය ගත්තත්, වේදනාව ගත්තත්, සංඥාව ගත්තත්, සංස්කාර, විඤ්ඤාණ කියල කියන මෙන්න මේ පඤ්චස්කන්ධයම අනිත්‍යයි. මෙන්න මේ පඤ්චස්කන්ධය කියන ගොඩවල් පහයි ‘මමය’ ‘මාගේය’ කියල අපි ව්‍යවහාර කරන්නේ. මේ රූප ගොඩක්. අපි සමහරවිට ඡායාරූපයක් අරගෙන ‘මගේ රූපය’ කියල ආඩම්බරයෙන් කියනවා. එතන සටහන්වුනේ මොකක්ද? ඉතාම ශීඝ්‍රයෙන් වෙනස්වෙන රූප සමූහයක් - සන්තතියක්. මේක මිරිඟුවක් වගේ අර සංඥාවෙන් එකක් හැටියට පෙන්නුම් කරලා දෙනවා. එහෙම පෙන්නුම් කරන ස්වභාවයක් ලෝකේ තියෙනවා. මේ ඉන්ද්‍රියයන්ගේ පිහිටීමේ දුර්වලකම නිසා අපට අර ශීඝ්‍රයෙන් වෙනස්වීම පෙනෙන්නේ නෑ. ඒකට කියයනවා ඝන සංඥාවය කියලා. ලෝකේ හැම දෙයක්ම ‘ඝන දෙයක්’ ‘හැබෑ දෙයක්’ ‘ඇත්ත දෙයක්’ ‘නිත්‍ය දෙයක්’ හැටියට පෙනෙන ස්වභාවයක් තියෙනවා. අර ඇතින් පෙනෙන මිරිඟුව වතුරය කියල හිතන්නේ. නමුත් එතන මහ පොපියන වලන ගොඩක් තියෙන්නෙ. ඒ වගේම තමයි ඒ ඈත කියන දේ පමණක් නොවෙයි, මේ අපේ ළහ තිබෙන ශරීරයත් ඉතාම ශීඝ්‍රයෙන් මොහොතක් පාසා වෙනස්වෙනවා. ඒ රූපය. ඊළඟට වේදනාවත් එහෙමයි. ‘අපොයි වේදනාව’ කියලා කියන්නේ ඒක එකක් හැටියට හිතාගෙන. නමුත් එතනත්, අර මනසිකාරය කියල කියන මෙනෙහි කිරීමේ විදියට සිහි නුවණින් යුක්තව මෙනෙහි කරනකොට පේනවා. එතනත් තියෙන්නෙ වේදනා රාශියක්-ගොඩක්. ඒ වගේම සංඥාව කියන එකත් තට්ටු ගොඩක්. සංඥා තට්ටු ගොඩකින් තමයි අපි මේ කෙනෙක් හඳුනගන්නෙත්. ඉතාම ශීඝ්‍රයෙන් ඒ තට්ටු ගොඩ එකක් හැටියට අපි ගන්නවා ඝන සංඥාවෙන් - ඒක රූපයක් හැටියට. ඒ වගේම සංස්කාර කියල කියන අපේ චේතනාවල්. ඒවත් ඉතාම ශීඝ්‍රයෙන් ඇතිව, නැතිවෙනවා. විඤ්ඤාණය කියන එකත් ‘සිතය’ කියල කිව්වට. ‘මගේ සිතය’ කියල කිව්වට, ඉතාම ශීඝ්‍රයෙන් ‘සිතා ගන්න බැරි තරම්’ වේගයෙන් ඇතිව නැතිවෙනවා. අන්න ඔය විදියේ තත්ත්වයක් ලෝකයේ තිබෙද්දී අපි සාමාන්‍යයෙන් මේවා ඝන සංඥාවෙන් එකක් හැටියට අරගෙන ‘මමය’ ‘මාගේය’ කියල ව්‍යවහාර කරගන්නවා. ‘මමය’ කියල කියන කොට, ‘මමෙක්’ ඉන්නවා නම්, මට අයිති දේකුත් තියෙන්න ඕන. ඉතින් ඔය දෙක බෙදාගන්න ගිහිල්ලයි මේ සංසාර ගැටළුව ඇතිකරගන්නේ. ‘මමයි’ ‘මගේ දේයි’. ඔය විදියට ඒ ඝන සංඥාව නිසා ඇතිවෙනව මෝහයක්. යම් කිසි කෙනෙක් අර භාවනා මානසිකාරයේ යෙදෙන කොට යම්කිසි සමාධි සිතක් ඇතිව සිත තැන්පත් කරගෙන, අර විදියට දුවන සිත නවත්ත ගන්නවා, පළමුවෙන්ම දුවන්න නොදී-සිත ගැන සැළකිල්ලෙන් සිටීමෙන්. ඊළහට තවත් ගැඹුරින් මෙනෙහි කරගෙන යනකොට පේනවා මෙතන මේ ඇතිවීම නැතිවීම ගොඩක් පමණයි තියෙන්නෙ. ඇතිවෙන දේකුත් නැතිවෙන දේකුත් නෑ. අන්තිමට මේ ‘දෙයක්’ කියල ගත්තු දේ පවා - ඒකත් නෑ. මෙතන තියෙන්නෙ වලන රාශියක් පමණයි කියන හැඟීම එනවා. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ ‘දෙයක්’ කියල කිව්වට මොකද, මේ අරමුණ-මේ ‘දෙයක්’ කියල කියන අරමුණ පවා-මේවායේ අමුතුවෙන් එල්ලෙන්න තරම් ‘දෙයක්’ නැතිබව පෙනී යනව. මොකද, අර ඝන සංඥාව ඉවත්වෙලා රාශියක් හැටියට පේනව-හැම තැනම, බලන බලන තැන. යෝගාවචරයාකුට ඒ ප්‍රත්‍යක්ෂය ලං වෙන කොට තමාගේ ශරීරයක්, වේදනා සංඥා ආදි හැම දෙයක්මත් වලන ගොඩක් හැටියට වැටහෙනවා. ඒක වෙන කෙනෙකුට පෙන්නන්න බෑ. තමාටයි ඒක වැටහෙන්නේ. ඒක තමයි ‘ප්‍රත්‍යක්ෂය’ කියල කියන්නේ. එහෙම වැටහීම තුළින් තමයි ඊළඟට, මේ විදියේ ඇතිවීම-නැතිවීම දෙකක් කියන දෙයක් නේද මම මේ ‘මමය’ ‘මාගේය’ කියල බදාගෙන ඉන්නේ, ආසා කරන්නේ, කියල කලකිරීමක් ඇතිවෙනවා. ඒවගේම, මේවා නැවත ඇති කරගැනීමට උත්සාහය නැතිවෙනකොට, වැඩියෙන් පේන්නෙ නැතිවත, බිඳියන, ස්වභාවයයි. ඒ බිඳීම නිසා භයක් ඇතිවෙනවා. දැන් අපි යමක් අල්ලාගෙන ඉන්නවා නම්, පිහිට සොයාගෙන යමක් බදාගෙන ඉන්නවා නම්, ඒ අල්ලාගෙන ඉන්න දේ, බදාගෙන ඉන්න දේ, බිඳෙන කොට අපට යම්කිසි භයක් සංවේගයක් ඇතිවෙනවා. අන්න ඒ වගේ අර යෝගාවචරයාට මේ පඤ්චස්කන්ධය පිළිබඳව මේ විදියට මෙනෙහි කරගෙන යනකොට, ‘මෙතන ගන්න දෙයක් නෑ. අල්ලගන්න දෙයක් නෑ. මේක මහ භයානක තත්ත්වයක්. මේ මුළු මහත් සංසාරයේ බිඳෙන පදනම් ගොඩක් උඩ ඉඳගෙනයි අපි මේ සතුටින් හී ගයන්නේ’ කියල ඒ අවබෝධය එනවා. ඒක නිසා, ඇත්තවශයෙන්ම මෝහය නිසයි, අවිද්‍යාව නිසයි, සංසාරයේ අපි දීර්ඝ කාලයක් ගමන් කරන්නේ, මිරිඟුව ඔස්සේ දුවන මුවා වගේ. ඒ වෙනුවට මෙතන අර අවබෝධය මතුවෙන කොට, ප්‍රඥාව මතුවෙන කොට, පේනවා ‘මමය’, ‘මාගේය’. කියල ගත්තු මේ රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඤ්ඤාණ කියන මේ හැම එකක්ම ඉතාම ශීඝ්‍රයෙන් වෙනස්වෙන බව, බිඳී යන බව. මේවා ඇතිවෙමින් නැතිවෙමින් යනවා. ඔය විදියට තමයි විදර්ශනා ඥාන මෝරලා යන්නේ. එතකොට, මෙන්න මේ මනසිකාරය කියන එකේ ඇති වටිනාකම අපි කල්පනා කරන්න ඕන. මනසිකාරය කියන්නේ හිත ඇතුළෙම කෙරෙන දෙයක්. භාවනායෝගියා සාමාන්‍යයෙන් අර බිත්තර රකින කිකිළියක් වගේ අමුතු වැඩක් කරන්නේ නෑ ලෝකයෙ. පෙනෙන්නේ නෑ කරන දේ. නමුත් හිත ඇතුළේ කෙරෙන මේ මනසිකාරය තුළින් තමයි ඒ තැනැත්තාගේ ප්‍රඥාව වැඩෙන්නේ. සාමාන්‍ය ලෝකයාට මේක අවබෝධ කරගන්න අමාරුයි. මෙන්න මේ භාවනා මනසිකාරය තුළින් යම්කිසි කෙනෙකුට යම්කිසි අවස්ථාවක ක්‍රමක්‍රමයෙන් වැටහීගෙන යනවා, ‘මුළු මහත් සංසාරයේ මා මේ නිෂ්ඵල ගමනකයි යෙදිල තිබෙන්නෙ, අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා. මේ බිඳෙන දෙයක්, ඉතාම ශීඝ්‍රයෙන් වෙනස්වෙන දෙයක්, ’මමය’ ‘මාගේය’ කියල අරගෙන, ඒ නිසා ඇතිකරගත්තු කෙලෙස්ධාරාවකට, කෙලෙස් ගොඩකට යටවෙලයි මේ සංසාරය ගෙවන්නේ. නොයෙකුත් විදියේ ජාති අපි කර්මානුරූපව ලබන්නේ. මේ අවබෝධය ගැඹුරුවෙන්ත ගැඹුරුවෙන්න කෙනෙකුට මේක අතහරින්න පුළුවන් ශක්තියක් එනවා. දැන් අතහරිනවා කියල කියන කොට, අල්ලගෙන කියන දෙයක් අතින් ගිලිහිලා යනව කියන හැඟීමයි කෙනෙකුට එන්නේ. නමුත් එහෙම බලනවා නම් කොහොමද මේ පඤ්චස්කන්ධය අතහරින්නේ කියල කෙනකුට ප්‍රශ්නයක් එනවා. අපි මේ අතහරිනවා කියල වචනෙන් කිව්වට මෙතන සිද්ධවෙන්නේ අමුතුම දෙයක්. ඒ යෝගාවචරයා අර විදියට මෙනෙහි කරගෙන යනකොට මේ ඇතිවීම නැතිවීම දෙකයි ඊළඟට මේක බිඳෙනවා පේනවා. ඇතිවෙනවාටත් වඩා ශීඝ්‍රයෙන් බිඳෙනවා වගේ වැටහෙන්ට පටන් ගන්නවා. ඊළඟට මේක නිසාම යම්කිසි භයක් ඇතිවෙනවා, සංවේගයක් ඇතිවෙනවා. ඒවගේම මේකෙ ඇති ආදීනව පෂය, මේකෙ අල්ලගන්න දෙයක් නෑ කියන වැටහීම එනවා. ඊළඟට මෙයින් මිදෙන්නට ඕන කියන අවබෝධයක් එනවා. මේයින් මිදෙන්න ඕන කියන එක. ඒ මිදීමට මාර්ගය තමයි අර කලකිරීම. දැන් අපි දන්නවා හොඳට හැඩවැඩ ඇතිව ඉන්න කැමති කෙනෙක්, තරුණයෙක් හරි තරුණියක් හරි, ඔක්කොම ඇඳුම් ඇඳගෙන හොඳ උත්සවයකට යන්න ලෑස්තිවෙල ඉන්න අවස්ථාවක, කවුරුවත් බලුකුණක් හරි සර්ප කුණක් හරි මිනී කුණක් හරි ඇඟේ දැම්මොත් කොයිතරම් ඉක්මනින් උරහිස් හොලවලා ඒක අහක් කරනවාද? අන්න ඒ වගේ, අර වැටහීම එන්නට, මේවායේ භයානක ස්වභාවය ගැන, හිත තුළින් යම්කිසි එපාවීමක් එනවා. කලකිරීමක් එනවා. ඒ කලකිරීම වෙන අයට කියන දෙයක් නොවෙයි. තමා තුළින්ම එන ඒ කලකිරීම උපකාර කරගන්නේ මේ සසරින් මිදීමටයි. මොකද, සසරේ බැඳීම කියන්නේ තණ්හාව උඩයි, ආශාව උඩයි, ඇල්ම උපාදාන කියලා කියන හිතින් අල්ලා ගැනීම උඩයි. මෙතන තියෙන්නෙ හිතෙන් අල්ලාගැනීමක්. දැන් අපි මේ අවස්ථාවේ මොකක්වත් අතින් අල්ලගෙන නෑ. නමුත් සිතින් කොයිතරම් දේවල් අල්ලගෙන කියනවාද කියන එක මේ පින්වතුන් හොඳට දන්නවා. මේ මුළු මහත් ලෝකය අයිති කරගත්තවා කියල කියන්නේ මොකක්ද? හිතින් අල්ලගැනීම. මුළු ලෝකය ජයගත්තු රජවරු ලෝකය අයිති කරගත්තෙ කොහොමද? හිතින් අල්ලගත්ත, තණ්හාවෙන්. මේක මගෙයි කියල හිතාගත්ත. මේ අපේ ශරීර කුඩුවත් අපිට අයිති නෑ, ඇත්ත වශයෙන්. මොකද, මේක ඇතුළේ පණුවෝ අසූකුලයක් ඉන්නවා කියල කියනවා. හිසේ උකුණෝ. ඒ හැම දෙනාටම අයිතියි. ඒකට කියන්නේ ‘බහු සාධාරණ’ කියල. මේ ශරීරය කාටත් අයිති දෙයක්. ඒ වගේම අපේ වතුපිටි ඉඩකඩම් සොර සතුරන්ටත් අයිතියි. වඳුරන්, රිලවුන් ආදී සතුන්ටත් අයිතියි. නමුත් ‘අපේ’ - හැම දෙයක්ම අපේ. රටත් අපේ, ගමත් අපේ, ලෝකයත් අපේ, මේ හැම එකක්ම අපේ කියල අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරනවා. නමුත් මේකෙ යථා තත්ත්වය බලනකොට මේ එකක්වත් අපේ නොවෙයි. බුදුපියාණන්වහන්සේ ඔන්න ඔය සාමාන්‍යයෙන් තිත්ත හැටියට සැළකෙන සත්‍යයයි ප්‍රකාශ කළේ. තිත්ත නමුත් සත්‍යය නම් අපි පිළිගන්නට ඕන. ඔය විදියේ සත්‍ය දර්ශනයක් තුළින් තමයි, යම්කිසි කෙනෙකුට මේ සංසාරයෙන් මිදෙන්ට පුළුවන් වෙන්නේ. ඒකට උපකාරවන මාර්ගය තමයි මේ භාවනා මනසිකාරය. එතකොට මේ පින්වතුන් අද දවසේ කල්පනා කරන්ට ඕන. මේ අපි උපමා හැටියට දක්වන කථාන්තර සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ ක්‍රියාවට තගන්න බැරි දේවල් හැටියට කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් අර හත් අවුරුදු සාමණේරයන් වහන්සේ අර තරම් උතුම් තත්ත්වයක්, රහත් තත්ත්වයක් ලබාගත්තේ කොහොමද? පොතපත කියවලද? ලොකු දැනුමක් ලබාගෙනද? නෑහැ. භාවනා මනසිකාරය තුළින්. අර හුඹහෙ ඉන්න තලගොයා හරියට අල්ලාගත්ත ඒ පොඩි හාමුදුරුවෝ. බාහිර ඉන්ද්‍රිය පහ කියන සිදුරු පහ වහල, ‘සිත’ කියන ඒ සිදුරෙන් තලගොයා හරියට අල්ලගත්ත නිසා තමයි රහත් උනේ. එතකොට එදිනෙදා ජීවිතයේ ඉතාමත්ම ප්‍රායෝගික පාඩමක් මෙතන මේ හත් අවුරුදු සාමණේරයන්වහන්සේ අර පෝඨිල ස්වාමීන්වහන්සේට ඉගැන්නුවේ. ඒක අපිත් ප්‍රයෝජනයට ගන්න ඕන. ප්‍රායෝගික එකක් කරගන්නට ඕන, එදිනෙදා ජීවිතයේදී. මේ කාලේ බැහැයි කියල අපි බොහෝවිට කියනවා. නමුත් මේ උපමාව තුළින් අපට පේනවා අපේ එදිනෙදා ජීවිතයේ පවා මේ භාවනා මානසිකාරයට තැනක් ඇතිකරගන්නට පුළුවන් බව. සමහරෙකුට හිතෙන්න පුළුවන් අර කියාපු විදියට කොහොමද මේවා මෙනෙහි කිරීම් පමණකින් නතර වෙන්නේ කියලා. මේව ඔස්සේ දුවන්න ඕන තේද කියලා හිතෙන්න පුළුවන්, එදිනෙදා ජීවිතයේදී. නමුත් භාවනායෝගියා කල්පනා කරන්නේ ඒ විදියේ පටු දෘෂ්ටි කෝණයකින් නොවෙයි. මේ දීර්ඝ කාලයක් අපි මේ මහා රැවටිල්ලකයි හිටියේ. අවිද්‍යාව, මෝහය, කියල කියන මහා රැවටිල්ලක් මේ ඉන්ද්‍රිය පහ නිසා ඇතිවෙල තිබෙනවා. මේවායේ සත්‍ය ස්වභාවය වටහාගන්න නම්, මේ බුදුපියාණන්වහන්සේ ප්‍රකාශකළ ආකාරයට යම්කිසි ශික්ෂණයක් අවශ්‍යයි. දැන් මේ අවස්ථාවේ සමාදන්වුනා වගේ යම්කිසි ශීලයක් සමාදන්වෙලා කය වචනය හික්මවා ගන්ට ඕන, පළමුවෙන්ම. ඒ ශීලය මත පිහිටලා සිත සමාධිමත් කරගන්නවා කියල කියන්නේ සිත එකඟ කරගන්නවා. එකඟවුන සිතටයි මේ යථාතත්ත්වය පේන්නේ. විසුරුණු සිතකට ලෝකයේ යථාතත්ත්වය වැටහෙන්නේ නෑ. ඒක නිසා සිත වික්ෂිප්ත වන හේතුන් ඉවත් කරල සිත තැන්පත්කර ගන්ට ඕන, යම්කිසි කමටහන් අරමුණක. ඒ විදියට සිත එකඟ කරගත්තට පස්සේ අන්න ඊළහට මේ මෙනෙහි කිරීම හරියාකාරව කෙරෙනවා නම් කෙනෙකුට ක්‍රම ක්‍රමයෙන් වැටහෙන්නට පටන්ගන්නවා, මේ අපි එකක් හැටියට ගත්තු - ඝන සංඥාවෙන් ගත්තු - දෙය පිළිබඳව, මෙතන රාශියක් තියෙන්නෙ, ගොඩක් තියෙන්නෙ. මේ ගොඩක් කියල කියන්නේ මොකද? ගොඩක්ය කියල වැටහෙන්නේ එක එකක් වෙන් ව වැටහෙන නිසයි. දැන් ඉදලක් දිහා බලල අපි මේක ඉදලක්ද කියල සැළකිල්ලෙන් බලනකොට පේනව මෙතන තියෙන්නෙ ඉරටුගොඩක් කියලා. එතකොට ඒ එක එක ඉරටුවක් වෙන් වෙන්ව පේනව. ඒ වෙන් වෙන්ට පෙනීම තුළ තිබෙනවා අර නාම රූප ධර්ම. නාම රූප ධර්ම කියල කියන යම්කිසි ගැඹුරු ධර්ම කාරණයක් වැටහෙන අවස්ථාවක් ඒක. දැන් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්මයට අනුව, ඇත්ත වශයෙන්ම තිබෙන්නෙ මෙතන නාමරූප දෙකක් පමණයි. ‘මමය’ කියල කෙනෙක් නෑ මෙතන. ඒකයි බුද්ධ දේශනාව. නාමය කියල කියන්නේ, අපි සාමාන්‍යයෙන් නමයි කියල හිතාගත්තට මොකද, වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය, මනසිකාරය කියල කියන මේ ධර්ම පහයි. අපි එදිනෙදා ජීවිතයේදී උනත් යම්කිසි විඳීමක් - වේදනාවක් ආශ්‍රයෙන් යම්කිසි හැඳිනීමක් ඇතිකරගන්නවා. ඒ හැඳිනීම උඩ සිතනවා - චේතනා. ඒ සිතීම් තුළින් අපි යම්කිසි ස්පර්ශයක්, යම්කිසි ස්ථානයක් කෙරෙහි මෙනෙහි කිරීමක් කරනවා. ඔය ටික තමයි නාමධර්ම කියල කියන්නේ. ඊළහට මේකෙ රූප කොටස මොකක්ද? රූප හැටියට සලකන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතර. මේ ධාතු හතර ඉතාම සියුම් අන්දමින් මිශ්‍රවෙලා. අපි මේ වතුරය කියල කියන එකේ අනෙකුත් ධාතුත් අඩංගුයි. නමුත් අර ආපෝ ධාතුව එකේ වැඩියෙන් ප්‍රකටව තිබෙනවා. ඒක නිසා අපි වතුරය කියල කියනවා. ඒ විදියට මහා පුදුම අන්දමින් සම්මිශ්‍රණය වෙච්ච, අල්ලගන්න බැරි භූතයෝ හතර දෙනෙක් වගෙයි මේ මහාභූතධර්ම කියන ධාතු හතර. ඔය ධාතු හතරෙන් තමයි අපේ මේ ශරීර නිර්මාණය වෙලා තියෙන්නෙ. දැන් අපි මේ ‘මමය’ ‘මාගේය’ කියල අනිත් අයගේ ශරීරවලට කිට්ටුවෙන්න නොදී, ඈත බලාගන්න, පිරිසිදු කරගන්න, මේ ශරීර කුඩුව මියගියාට පස්සේ සොහොනක කනත්තක දැම්මට පස්සේ, අනිත් අය අඳුනගන්නේ කොහොමද? ඔක්කොම අන්තිමට පොළවට පස්වෙනවා. මේ පස්වල සාරය ආහාරය හැටියට අරගෙන තමයි අපේ මේ ශරීරය ගොඩනැගුනේ. දීර්ඝ කාලයක් තිස්සේ, අවුරුදු විස්සක්, තිහක්, සියයක්, පමණ කාලයක් තිස්සේ මේ ශරීර කුඩුව ගොඩනැගුනා. ඊළඟට මේක දිරාපත් වුනාමත් පස්වෙනවා. පස්වලින්ම ඇතිවෙල පස් බවට පත්වෙනවා. අන්න එතන තියෙන්නෙ. එතකොට ධාතු හතර පමණයි. නමුත් අපට මේක එදිනෙදා ජීවිතේදී වැටහෙන්නේ නෑ. සිතට වැටහෙන්නේ නෑ. මේක භාවනානුයෝගියාට ඉතාම සියුම් අන්දමින් වැටහෙනවා. ඉතින් ඕක තමයි රූපය කියල කියන්නෙ. භාවනානුයෝගියගෙ බාසාවෙන් ‘රූපය’ කියල කියල කියන කොට වැටහෙන්නෙ මොකක්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතරයි. අනිත් අය කොයි විදියට මේක ‘ලස්සන රූපයක්’ ‘අලංකාර රූපයක්’ ‘කොයිතරම් ලස්සන රූපයක්ද’ කියන කොට අර ඒ ගැඹුරු ප්‍රඥාව ඇති තැනැත්තාට ‘මොකක්ද මෙතන තියෙන්නෙ, ධාතු හතරයි,’ කියන වැටහීම එනවා. ඒ වගේම තමයි අර සිත කියල කියන. එහෙම නැත්නම් ‘නාමධර්ම’, කියල කියන කොටස. එතනත්, මෙන්න මේ තමන්ට ප්‍රත්‍යක්ෂවන වේදනාවක් තියෙනවා. ඒ තුළින් ගන්නා සංඥාවක් තියෙනවා. දැන් මේ ඉඳගෙන ඉන්න කොටත් යම් කිසි වේදනාවක් තියෙනවා අන්න අතන අහවල් තැන රිදෙනවයි කියන්නට පුළුවන් විදියට. ඊළහට හැඳිනීමක් තියෙනවා, මදුරුවෙක් කෑවද කියලා. වේදනාවක් එනවා. ඊළහට ස්පර්ශය පිළිබඳ - හැපෙන තැන පිළිබඳ - වැටහීමක් එනවා. ඒ ඔක්කොම කරන්නේ මානසිකාර කියල කියන මෙනෙහි කිරීමෙන්. අවසාන වශයෙන් බලනකොට මෙනෙහි කිරීමයි. මෙනෙහි කිරීම තුළින්මයි, එතකොට, අරමුණක ඇති හිස් බව තේරුම් ගන්නේ. අපි පටන්ගත්තෙත් අර තුච්ඡ පෝඨිල කියල කතාවකින් - හිස්බව පිළිබඳව. ඒක වෙන අර්ථයකින්. දැන් මෙතන අන්තිමට එන්නෙ ශූන්‍යත්වය කියල කියන හිස්බවක්. මේ කියන්නෙ, අරමුණ විනිවිද දැක්මක්. සාමාන්‍ය ලෝකයා කරන්නේ අරමුණක් ඔස්සේ දිවීමයි. අර මිරිඟුව ඔස්සේ මුවා දුවන්න වගේ. යෝගාවචරයා කරන්නේ අරමුණ දිහා නැවතිලා බලලා අරමුණ විනිවිද දැකීමක්. අරමුණ විනිවිද දැකීම කියලා කියන්නේ අරමුණේ අනිත්‍යතාව දැකීමයි. ඒ අරමුණ හැටියට ගත්තු එක ඉතාම ශීඝ්‍රයෙන් ඇතිවන නැතිවන දෙයක්. දැන් අපි හිතමු පහන් දැල්ලක් දිහා බලාගෙන හිටියා කියල. ඒ ලොකු පහන් දැල්ල බොහොම ලස්සනට කහපාටට, එහෙම නැත්නම් රතුපාට යන්තම් ඇතිව, ලස්සන ආකාරයකින් පේනවා. මේක අර භාවනා මනසිකාරය දියුණුවෙනකොට පේන්නේ කොහොමද? ඉතාම ශීඝ්‍රයෙන් ඇතිවන නැතිවන පහත් දැල්ලවල් ගොඩක් වගේ. එක දැල්ලක් නොවේ. ඒ වගේම අපි හිතමු දැන් වතුර ගලාගෙන යන දොළ පාරක්. එහෙම නැත්තම් වතුර වැක්කෙරනවා මොකකින් හරි. දැන් ඔය දිය පීල්ලක, දිය ඇල්ලක ජලධාරාවක් ඈතට පේන්නේ හරියට රිදී බිත්තියක් වගේ. කිට්ටු වෙලා බලනකොට අන්තිමට මෙතන තියෙන්නේ ඉතාම ශීඝ්‍රයෙන් වැටිල බිඳිල යන, එක මොහොතක් එක ආකාරයෙන් නොපවතින, ජලධාරාවක්. ඒ වගේම එක විසිරිලා යනවා පේනවා. ඒක ඝන සංඥාවෙන් ගැනීම තුළිනුයි එකක් හැටියට වැටහෙන්නේ. නමුත් අර නුවණට, ප්‍රඥාවට වැටහෙනවා අවසානයේදී මෙතන එකක් කියල ගන්න දෙයක් නෑ. ‘දෙයක් නෑ’. මෙතන කියන මේ අරමුණ අන්තිමට විනිවිද දකිනවා. මේක මහ පුදුම දෙයක්. පටන් ගන්නේ අරමුණෙන්. පටන් ගන්නේ අරමුණ මෙනෙහි කිරීමෙන්. නමුත් අවසාන වන්නේ අරමුණේ හිස්බව දැකීමෙන්. අරමුණ විනිවිද දැකීමෙන්. ඔන්න ඔය විනිවිද දැකීම තුළින් තමයි අවසානයේදී තමන්ටම ප්‍රත්‍යක්ෂ වන්නේ ‘මමය’, ‘මාගේය’ කියල මෙතන අල්ලගන්න දෙයක් නෑ කියල. මමෙක් ඉන්නවා නම් තමයි මට අයිති දෙයක් තියෙන්නේ, මමෙක් නැත්නම් මට අයිති දෙකුත් නෑ. ඒ වගේම මෙතන අර ‘මම’ කියන සංඥාව අවිද්‍යාවෙන් දීර්ඝ කාලයක් තිස්සේ සිතේ තැන්පත්වුනු, සමාජය විසින් උසිගන්වලා එහිම රඳවාගන්න බලන එක්තරා අවිද්‍යාවක්, මෝහයක් බව කෙනෙකුට වැටහෙනවා. ඉතින් මේ ප්‍රත්‍යක්ෂය සමාජයට කෑ ගහල කෙනෙකුට බෑ අවබෝධ කරවන්න. කාටවත් කියල දීල බෑ මේක කරවන්න. අර පෝඨිල ස්වාමීන්වහන්සේට අර තරම් පොත් ඉගෙනගෙනත් මේක අවබෝධ කරගන්න බැරිවුනේ මොකද? බුදුපියාණන්වහන්සේ ප්‍රකාශ කරල තියෙනවා මේ ධර්මය,ස්වක්ඛාතවූ මේ ධර්මය සන්දිට්ඨිකයි, අකාලිකයි. ඒහිපස්සිකයි, ඔපනයිකයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි ආදී නොයෙකුත් වචනවලින්. ඒ මොකද? මේක නුවණැත්තන් විසින් තම තමන්ම ප්‍රත්‍යක්ෂ කරගතයුතු දෙයක්. වෙන කෙනෙකුට මේක ප්‍රත්‍යක්ෂ කරවන්න බෑ. ඒ සඳහා යෙදිය යුතු මාර්ගයි අර යෝග කියල කිව්වේ - භාවනා මනසිකාරය, නිසි ආකාර භාවනා මනසිකාරය. යම්කිසි කමටහනක් අරගෙන - අපි හිතමු, ආනාපානය - අප සමග උත්පත්තියේ සිට මරණය දක්වාම සිටින මෙන්න මේ ආශ්වාස - ප්‍රශ්වාස ක්‍රියාවලිය තුළින්මත් ඇතැම් කෙනෙකුට මේ කියාපු ඥානය මතුකරගන්න පුළුවන්. ඒක ඉතාමත් ප්‍රකට කාරණයක්. දැන් අපි මේ හුස්මක් ගන්නවා කියල කිව්වට මොකද, මෙතන තියෙන්නෙ හුස්ම රැළි ගොඩක්. හුස්මක් හෙළනව කියන්නේ එතනත් රැළි - වලන ගොඩක්. නමුත් මේ රැළි ස්වභාවය, සාමාන්‍යයෙන් වැටහෙන්නේ නෑ. මොකද වැටහෙන්නේ නැත්තේ? ‘මම හුස්ම ගන්නවා’. මේ ගත්තෙ ‘මගේ හුස්මයි’. අපි හිතමු හොඳ මල්වල සුවඳ සහිත හුස්මක් ගත්ත බොහොම ආසාවෙන්. එක්කො හදුන්කුරු සුවඳ වාගේ දෙයක් එක්ක හුස්මක් ගත්ත. ‘මම’ හුස්මක් ගත්ත නමුත් ඒක තියාගන්න බෑ. අන්න ලෝක ධර්මතාව. එහෙම කොයිතරම් ආසාවෙන් ගත්තත් හුස්මක් අපට රදවාගන්න බෑ. පපුව හිරවෙනව. ඒ නිසා ඒ හුස්ම හෙලන්න වෙනවා. ඒ හෙළීම තුළ තිබෙන්නේ අර වගේම වලන ගොඩක්. ඉතින් මෙතන අන්තිමට බලනකොට ඇතිවෙන්නෙත් වලන ගොඩක්, නැතිවෙන්නෙත් වලන ගොඩක් කියල කියන්න වෙනව. එකත් අන්තිමට නැතිවෙල ගිහිල්ල ඒ වලනමත් ඉතාම සියුම් ආකාරයන් කෙනෙකුට වැටහෙනව. මේක මේ බාහිර යන්ත්‍ර සූත්‍රවලින්, කොයිතරම් සියුම් අන්දමේ යන්ත්‍ර සූත්‍රවලින් නමුත් කෙනෙකුට අවබෝධ කරගන්න බෑ. තමා තුළින් ඇතිකරගන්න ප්‍රඥාවෙන්මයි මේක කෙනෙකුට වැටහෙන්නේ. මේ වැටහීම තුළිනුයි යම්කිසි කෙනෙකුට මේ පඤ්චස්කන්ධය අතහරින්න පුළුවන් වන්නේ. මේ ශරීර කුඩුවෙන් මිදෙන්න ඕන කියල දිවි නසා ගත්තට ඒ ප්‍රශ්නෙන් මිදෙන්නෙ නෑ. ඒ ප්‍රශ්නය උග්‍රවෙනව මිසක්. ඊළහට කර්මානුරූපව නැවත කොහේහරි උපදිනව. දැන් බොහෝ දෙනෙක් ජීවිත පූජාව හරි ජීවිත පරිත්‍යාගය හරි කියල තමන් ඇලුම් කරන දෙයක්, ඇලුම් කරන කෙනෙක්, වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරනවා - ඒක ලොකු දෙයක් හැටියට. එහෙම බේරෙන්න බෑ මේ සංසාරයෙන්. විඤ්ඤාණයෙ ගැබ්වෙච්ච ඒ තරම් කාර්ම රාශියක් තිබෙන නිසා. නමුත් ඒ වෙනුවට කරන්නේ කියන්නේ ප්‍රඥාවෙන් අර කියාපු ලෝකෝත්තර තත්ත්වයන් ප්‍රත්‍යක්ෂ කරගැනීමයි. සෝවාන්, සකදාගාමී, අනාගාමී, අර්හත් කියලා කියන, මේ සංසාරයෙන් මිදෙන මට්ටම් හතරක් තිබෙනවා. අපේ සිත් තුළ තිබෙනවා සතර අපායට අදින ශක්තීන්, පාප ශක්තීන්. ඒ අකුසල ශක්තීන් විනාශ කරන ශක්තියක් සෝවාන් පුද්ගලයාගේ ලෝකෝත්තර ප්‍රඥාවේ තිබෙනවා. සෝවාන් පුද්ගලයා නැවත සංසාරයේ හත්වරකට වඩා උපදින්නේ නෑ. ඒ වගේම සතර අපායට යන්නේ නෑ. ඒක තමයි සෝවාන් බවින්ම ලැබෙන විශාලම සහතික. ඒක නිසයි බුදුපියාණන් වහන්සේ මුළු මහත් ලෝකයේ අධිපතිකමට වඩා, චක්‍රවර්තිරාජ්‍යයට වඩා, දෙව්ලොව යාමට වඩා, සෝවාන් එළය උතුම්ය කියල දේශනා කළේ. මොකද චක්‍රවර්ති රජකෙනෙක් නම් ධාර්මික රජකෙනෙක්. නමුත් සාමාන්‍ය ලෝකයේ රජකමක් කියල කියන්නේ පවි නොකර බැරි තත්ත්වයක්. ඒ කරන පව්වලට විපාක වශයෙන් ඊළඟට භයානක අපායවල උපදිනව, ප්‍රේත තත්ත්වවල, යක්ෂ තත්ත්වවල. නමුත් සෝවාන් පුද්ගලයා සතර අපායෙන් මිදෙනවා. ඒ පළමුවෙනි ලෝකෝත්තර තත්ත්වයයි. ඊළඟට සකදාගාමී කියල කියන්නේ, තැවත එක්වරක් පමණයි මෙලොවට එන්නේ. සමහරවිට දිව්‍යලෝකෙ ඉපදිලා ආයි තව එක්වරයි මනුෂ්‍ය ලෝකෙ තැවත ඉපදෙන්නෙ. ඒ හැම එකක්ම සංසාරය කෙටිකරන ආකාරය අනුවයි නම් කරල තියෙන්නෙ. අනාගාමී කියල කියන්නේ තුන්වෙනි තත්ත්වය. තැවත මෙලොවට එන්නේ නෑ. බ්‍රහ්ම ලෝකයේදීම සසර දුක් කෙළවර කරල උතුම් අරහත් බවින් පිරිනිවන් පානවා. ඒ අනාගාමී තත්ත්වය. රහතන් වහන්සේගේ මේ අවසාන ජීවිතයයි. මේ ජීවිතයෙන් පස්සේ තැවත උත්පත්තියක් නෑ. ජාති දුක්ඛය-සාමාන්‍ය ලෝකයා උපන්නාය කියල, උපන් දිනේය කියල, ලොකුවට උත්සව පැවැත්වුවට මොකද. උපත කියන එක මොන තරම් දුකක්ද? ඒත් දරුවටත් මතක නෑ, සමහරවිට මවටත් මතක නෑ. එපමණක් නොවෙයි, අපි හොඳට ඇස් ඇරල බලනව නම්. ලෝක තත්ත්වය අනුව, ඉපදීම නිසා නේද මේ හැම ගැහැටක්ම ඇතිවෙන්නේ. අපේ මේ ශරීර කුඩුවත් මේ උත්පත්තිය නිසයි. අපි අතීතයේ ඇතිකරගත්තු තෘෂ්ණාවෙන්, හිතින් අල්ලා ගැනීම නිසා කර්මානුරූපව අපට යම්කිසි ශරීරයක් ලැබුනා. සමහරවිට අන්ධ හැටියට උපන්න වෙන්න පුළුවන්, ගොළු හැටියට, බීරි හැටියට, ඒ නිසා කොයිතරම් දුක් විඳින්න සිද්ධ වෙනවාද? හොදයි අපි හිතමු, ඒ මොකක්වත් නැතිව හොදට අඟපසඟ සහිතව උපන්නා කියල. ඒ වුනත් මේ ශරීරය පෝෂණය කිරීම සඳහා, බඩවියත රැකගැනීම සඳහා, උපන්දා සිටම කවුරුත් මවුපියෝ එහෙම-කවනව පොවනව නම්, අපට පුළුවන් ජීවත් වෙන්ට. එහෙම ඒ අයගේ කරේ එල්ලිල ඉන්න බැරි අවස්ථාව උනාම ඊළඟට දහඩිය මහන්සියෙන්, මඩගාගෙන, නොයෙකුත් දුක් විඳගෙන උපයා සපයා ගන්න ඕන. ඔන්න ඔය විදියේ තත්ත්වයක් මේ ජීවිතය ආරක්ෂා කරගැනීම - මේ ශරීර කුඩුව රැක ගැනීම - සඳහා. ඉතින් ඒ විදියට ඒ උත්පත්තිය නිසා ඇතිවන දුක. ඊළඟට උපතක් එකකම එන එක තමයි ජරාව කියල කියන්නේ. උපන්දා ඉදලම දිරනවා. අපි සාමාන්‍යයෙන් වයසට ගියා කියල කියන්නේ, මහළු වයසට පත්වුනා කියන්නේ,යම්කිසි සීමාවක් දාලා - අවුරුදු 40න්, 35 න් පස්සෙයි කියල හෙම කියනවා. නමුත් ඇත්ත වශයෙන්ම මේ දිරීම උපතේ ඉදලම පටන් ගන්නවා. උපන් ඉසකෙස් හරි මොනවා හරි දිර දිරා යනවා. මේ දිරීම ශීඝ්‍රවෙන කොට ආබාධය, ව්‍යාධිය එනවා. ක්‍රමක්‍රමයෙන් රෝගයත් එකතුවෙල මේ ප්‍රශ්නය තව උග්‍ර කරනව. අවසානයේ මේක කෙළවර වෙන්නේ මරණයෙන්. ඔන්න ඔය ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන හතර නිසයි බුදුපියාණන්වහන්සේ අර තරම් රජ සම්පත් අතහැරල හියේ. වෙන ලෝකයේ තියෙන දුක් අප්‍රධානයි. ඒව අඩු-වැඩි වෙන්න පුළුවන්. මේව කාටත් පොදුයි. අන්න ඒක නිසා මේ සංසාරික තත්ත්වය ගැන යම්කිසි කෙනෙක් නුවණින් කල්පනා කරනවා නම්, අර ලෝකයා කොයි විදියට සම්මුති හැටියට අල්ලගත්කු දැනුම් රාශියක් තිබුනත් ඒව ඔස්සේ දුවනවා වෙනුවට කරන්න තියෙන්නෙ, අර පෝඨිල ස්වාමීන්වහන්සේ කළා වගේ, අවසානයේදී ඒ ‘පාඩම’ ඉගෙන ගත්ත වගේ, මෙන්න මේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ ප්‍රතිපත්ති මාර්ගයේ - යෝගයේ - යෙදෙන්නට ඕන. අයෝගයෙන් ඉවත්වෙලා යෝගයේ යෙදෙන්නට ඕන. යෝගය කියල කියන්නේ භාවනා මානසිකාරයයි. ඒ විදියට යම්කිසි කමටහනක්, ඒවාට උපදෙස් දෙන්න පුළුවන් අය ළහට කිට්ටුවෙලා ඒ අයගේ උපදෙස් අනුව ලබාගෙන - අර පෝඨිල ස්වාමීන්වහන්සේ වගේ නිහතමානීව - ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්න ඕන. මේ දීර්ඝ කාලයක් සංසාරයේ නිර්ථක දිවිල්ලක් මේ දුවල තියෙන්නෙ. අර මුවා මිරිඟුව පස්සේ දුවන්න වගේ, මේ ජිවිතේ අපි යම් යම් ඉලක්කයන් ඇතිකරගන්නවා කුඩා අවදියේ. කුඩා දරුවා වැඩිහිටියන්ගෙ ජීවිත දිහා බලල ඒ අයගේ වතුපිටි, ඒ අය පාවිච්චි කරන යාන වාහන, ඒව ඔස්සේ ඇතිකරගන්නවා ආශාවන්. ඒවම තමයි කුඩා දරුවට සෙල්ලම් බඩු හැටියට දෙන්නේ, බත් කවන දවසේ ඉදිරියෙන් තබන්නේ. ඒ අර තමාගේ මවුපියන්ගේ ආසාවන්වල ඉලක්ක අරමුණු. ඒ අරමුණු තමයි අර පොඩි දරුවා බත් කවන දවසේ ගිහිල්ල බදාගන්නේ. ඊළඟට ඒ බදාගත්ත දේ වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරනවා ඒ දරුවා. ඒ පොඩි දරුවන්ගේ සෙල්ලම් බඩු. ලොකු දරුවන්ගේ සෙල්ලම් බඩු ගැන අමුතුවෙන් කියන්නෙ නෑ. ඒව ඔස්සේ මුළු ජීවිතයම ගෙවා දමනවා. සමහරවිට ජීවිත පරිත්‍යාග කරනවා. නමුත් ඒව අන්තිමට හිස් දේවල්. ඒ විදියේ දේවල්වලින් කවදාවත් සංසාරයෙන් මිදෙන්න බෑ. ඒ වෙනුවට කරන්න තියෙන්නෙ, අර දිවිල්ල නතර කරල හිත නතර කරගන්නට උත්සාහ කරන එකයි, භාවනා කර්මස්ථාන අරමුණක් මගින්. බුදුපියාණන් වහන්සේ අර අංගුලිමාල කියන සොරාට, ඒ දාමරිකයාට, කිව්වෙත් ‘මා නැවතුනා ඔබත් නවතින්න’ කියලයි. අන්න ඒ වගේ. මේ නැවතිල්ලයි ලෝකෙට ඕන වෙල තියෙන්නෙ-දිවිල්ල නොවෙයි. හැමෝම දිවිල්ලටයි ආරාධනා කරන්නේ. මේ දිවිල්ල නතරකරල නැවතිල්ලටයි භාවනා මනසිකාරය කියල කියන්නෙ. මේකට උපකාරවෙන ආකාරයට අර භාවනා කර්මස්ථානයක් මගින් ඉන්ද්‍රිය දොරටුවලට එන අරමුණු ලත් තැන ලොප් කරමින් ඉතාම සියුම් ආකාරයකින් මෙනෙහි කිරීමෙන් - සති සම්පජඤ්ඤයෙන් යුක්තව - යම් කිසි කෙනෙකුට පුළුවන් වෙනවා මේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය තම තමන් තුළින්ම ප්‍රත්‍යක්ෂ කරගන්න. මේ හැම දෙයක්ම වෙනස් වෙනවා නම්, ඇතිව-නැතිවන ස්වභාවයෙන් යුක්ත නම්, ඒවායින් පෙළෙනවා නම්, ඉතාම ශීඝ්‍රයෙන් බිඳී බිඳී යනව නම්, මේක මහ භයානක දෙයක් - මේක දුකක්. කෑලි කඩා හැලෙන වාහනයක් අපි වාත්තු කරකර පාවිච්චි කරනවා නම් ඒක කොයිතරම් කරදරයක්ද? දුකක්ද? ඒ වගේම තමයි අපේ මේ ශරීරය. ආහාර පාන ගත්තත් ආයි පැය ගණනකින් මේක පෝෂණය කරන්ට ඕන. මේ ආශ්වාසයක් අපි ගන්නවා බොහොම ආශාවෙන්, හොඳ මල් සුවඳක් කියල, නමුත් ඒක හෙළන්න සිද්ද වෙනවා. අනිත් දේවල් පිළිබඳවත් එහෙමයි. ඔය විදියට බිඳී බිඳී යන ස්වභාවය-වෙනස්වන ස්වභාවය-නිසා, විපරිතාමය නිසා, මේක දුඃඛයක්, දුකක්, හැටියට බුදුපියාණන්වහන්සේ ප්‍රකාශ කළා. ලකුණු තුනක් හඳුනා ගැනීමයි ජීවිතයේ ඉලක්කය විය යුත්තේ හැමදෙනාගෙම. අනිත්‍ය කියන ලක්ෂණය. ඊළඟට දුඃබලක්ෂණය, ඊළඟට අනාත්ම ලක්ෂණය. මේක දුකක් නම්, දුක් සහිත දෙයක් නම්, සැපයක් මෙතන ඇත්ත වශයෙන්ම නැත්නම්, ඒක ‘මමය’ ‘මාගේය’ කියල ආඩම්බරයෙන් කියන්නේ කොහොමද? මගේ වශයෙහි පවත්වාගන්න බැරිනිසා තමයි මේක බිඳිල යන්නෙ. මාගේය කියල කියන්න පුළුවන් නම් මට ඕන හැටියට පවතින්න ඕන. නමුත් මේක ඒ විදියේ දෙයක් නොවෙයි. අපි නොහිතූ ආකාරයට, නොහිතූ මොහොතක, අපි පතන දේවල්, අපි අල්ලගෙන සිටින දේවල්, අයත් කරගෙන සිටින දේවල්, වෙනස්වෙලා, බිඳිලා විනාශ වෙලා යනවා-වෙන්වෙලා යනවා. අන්න ඒ විදියේ ස්වභාවයක් මේ සංසාරයෙ තිබෙන්නෙ. මේ ස්වභාවය නුවණින් ප්‍රත්‍යක්ෂ කරගත් තැනැත්තා තමයි අර බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ ‘සබ්බසංඛාර සමථ’ කියල කියන - සියලු සංස්කාරයන්ගේ සංසිඳීම කියල කියන - ඒ උතුම් නිවන් සැපත ලබන්නෙ. නිවීම,නිබ්බාන කියල කියන්නෙ නිවීමයි. මේ මුළු මහත් ලෝකයේම, මුළු මහත් සංසාරයේම, තියෙන්නෙ දැවීමක්. ඉතාම පුදුම අන්දමින් ඇතුළතත් පිටතත් දැවෙනවා ලෝකයේ. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරල තිබෙනවා ‘මහණෙනි, මේ හැම එකක්ම ගිනිගෙන දැවෙනවා’ කියල. ඇස, කණ, නාසය ආදී මේ හැම එකක්ම ගිනිගෙන දැවෙනවා කියල. ඒ විදියේ දැවීම් රාශියක් තුළයි ලෝකයා සිටින්නේ. බුදුපියාණන්වහන්සේ ප්‍රකාශ කළ ධර්මය තුළින් උන්වහන්සේ මේ දැවීම්වලින් මිදිල උතුම් වූ ඒ ‘නිබ්බාන’ කියල කියන නිවීමට මාර්ය පෙන්නුම්කරල තියෙනවා. ඒ ප්‍රතිපත්ති මාර්ගයයි බුද්ධ දේශනාව කියල කියන්නේ. එහි හරය තමයි ඒ ප්‍රතිපත්තියේ යෙදීම. අන්න ඒක නිසා මේ පින්වතුන් අද මේ වටිනා පෝය දවසේ ආර්ය අෂ්ටාංගික ශීලය කියන වටිනා ශීලයක් සමාදන්වෙල - ඊටත් වඩා වටින ශීල සමාදන්වුනු පින්වතුන් ඉන්නවා මෙතන - ඒ කොයි ආකාරයෙන් නමුත් කය, වචනය හික්මවා ගෙන මේ අවස්ථාවේ බුද්ධ දේශනාවට අදාළ ධර්ම කාරණා කීපයකට දැන් කන් දුන්නා. මේ තුළින් - මේ අපි ඉදිරිපත් කළ උපමා හෝ අනිකුත් ඒ නිදර්ශන ආශ්‍රයෙන් - මේ පින්වතුන් තම තමන්ගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය ප්‍රායෝගික ටික පමණක් ළංකර ගත්තත් ඇති, මේ හැම එකක්ම නැතත්. ඊළඟට වැදගත් දේ තමයි එදිනෙදා ජීවිතයේ - මේක අත්හදා බැලීම කරන දෙයක් හැටියට නොවෙයි - තමන්ගේ ජීවිත රටාවට එක්කරගෙන, දිනචරියාවට එක්කරගෙන, දවසේ සුළුවෙලාවක් හරි මේ භාවනා මානසිකාරයට වෙන් කරගෙන, විනාඩි කීපයක් හරි, ඊළඟට පුළුවන් නම් නිවාඩු ඇති අවස්ථාවක, එහෙම නැත්නම් නිවාඩු දාල හරි, මේවාට යොමුවෙල, මේ දීර්ඝ කාලයක් සංසාරයේ ප්‍රමාදයට වැටීම නිසා අතහැරුණු ඉතාම වැදගත් කාර්යය වන සංසාර විමුක්තිය - නිර්වාණාවබෝධය කියන ඒ උතුම් කාර්‍යයට, කෘත්‍යයට, පරමාර්ථයට තමන්ගේ ජීවිතය යොදනව ඇති කියල මම බලාපොරොත්තු වෙනව. එතකොට මේ වේලාවේ, මේ ධර්ම දේශනා අවස්ථාව තුළ මේ පින්වතුන්ගේ සිත් තුළ නිවනට උපකාරවන වටිනා ධර්ම කීපයක් තැන්පත් වුනා කියලා අපි හිතනවා. ශ්‍රද්ධාවෙන් තමයි මේකට සවන් දුන්නේ. ශ්‍රද්ධාව ඉතාම වටිනා ගුණයක්. කොයිතරම්ද කියතොත් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරල කියනවා නිවනට උපකාර වන ඉන්ද්‍රිය ධර්මයත් හැටියටත් මේ ශ්‍රද්ධාව, ඒ වගේම බලයක් හැටියටත්. සතිය කියල කියන සිහිය, සමාධිය, ප්‍රඥාව මේවා යම්කිසි ප්‍රමාණයකට ඇතිකරගන්න මේ ධර්මදේශනාව පිළිබඳ මෙනෙහිකරමින් කන්දීමෙන් මේ පින්වතුන්ට ශක්තිය ලැබුනා කියලා අපි හිතනවා. ඒ නිසා අද දවසේ ධර්ම ශ්‍රවණය ආනිසංස හැටියට සලකන තමන්ට ලැබුන මේ ශක්තියෙන් මේවාට පිරිසිදු සිත යෙදීමෙන්, කය වචනය යොමුකිරීමෙන් යම් කුසල වේදනා රාශියක් ඇතිවුනා නම් ඒ හැම කුසලයක්ම අපි දැන් ඒ පින් බලාපොරොත්තුවන, පින් කැමති අයට බෙදා දෙමු. ධර්ම දේශනාමය, ධම්ශ්‍රවණමය වශයෙන් අපි යම් ප්‍රණීත කුශල සම්භාරයක් රැස්කරගත්තා නම් මේ අවස්ථාව තුළ, ඒ කුසල සම්භාරය ශාසනාරක්ෂක දිව්‍යබ්‍රහ්ම මණ්ඩලයත්, විශේෂයෙන්ම මේ ස්ථානයට අධිගෘහිත දෙවිදේවතාවුන් හැමදෙනෙක්මත් අනුමෝදන් වෙත්වා! තම තමන්ගේ ප්‍රාර්ථනා පරිදි යම්කිසි බෝධියකින් උතුම් අමාමහ නිවන් සාක්ෂාත් කර ගනිත්වා! ශාසනයටත් අපටත් ආරක්ෂාව සලසත්වා! කියන ප්‍රාර්ථනාව ඇතිකරගන්නට ඕන. ඒ වගේම, තම තමන්ගේ ඥාතීනුත් ඇතුළුව අවීචියේ සිට අකනිටා දක්වාවූ යම්තාක් සත්ත්ව සමූහයක් පින්කැමතිව, නිවන් කැමතිව සිටිත් නම් ඒ හැම දෙනෙක්මත් මේ උතුම්වූ කුසලය අනුමෝදන්වී හැකිතාක් ඉක්මණින් ප්‍රාර්ථනීයබෝධියකින් උතුම් අමාමහනිවන් සාක්ෂාත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ ගාථා කියා පින්දෙන්න. ’එත්තාවතා ච අම්හේහි…….”